දකුණු අධිවේගී මාර්ගයේ ප්රථම අනතුර අද (28) උදේ 7.10 ට කහතුඩුවේ කිලෝ මීටර 8 කණුව අසළදී සිදුවුණා. මින් කොළඹ දෙසට ගමන් ගත් වෑන් රියක් පෙරළී දෙදෙනෙක් තුවාල ලැබුවා. අධිවේගී මාර්ගයේ ගිනි නිවීම් හා ජීවිතාරක්‍ෂක ඒකකය ඔවුන් හොරණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා.
පොලීසිය පවසන්නේ එම අවස්ථාවේ මෙම වෑන්රිය පැ.කි.මී. 100 වේග සීමාව ඉක්මවා ධාවනය කර ඇති බවයි.
Monday, November 28, 2011
දකුණු අධිවේගී මාර්ගයේ ප්රථම අනතුර වාර්තා වේ.
Sunday, November 27, 2011
දකුණු අධිවේගී මාර්ගය අද (27) විවෘත වෙයි.
දක්ෂිණ අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අද පෙරවරුවේ විවෘත කෙරුණා.
පෙරවරු 10.45 ට යෙදුනු සුභ මොහොතින් ශ‍්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දකුණු අධිවේගී අධිවේගී මාර්ගයට පිවිසෙන ගාල්ල සිමෙන්ති කම්හල අසල සමරු පලකය ජනාධිපතිතුමා විසින් නිරාවරණය කරනු ලැබීමෙන් අනතුරුව පින්නදුව ප‍්‍රවිශ්ඨ මාර්ගය අසලදී ජනාධිපතිවරයා විසින් ප‍්‍රවේශ පත‍්‍රයක් මිළදී ගෙන සිය මෝටර් රථයෙන් කරන්දෙණිය බලා ගමන් ආරම්භ කළා .
මේ සඳහා චීන සහ ජපාන ණය ආධර මත වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 85කි. මෙම මාර්ගය කොළඹ කොට්‌ටාව සිට ගාල්ල පින්නදූව දක්‌වා කිලෝ මීටර් 95.2 දුර දිවෙන අතර පිවිසුම් දොරටු අටකින් සමන්විත වනවා.
එම පිවිසුම් දොරටු ඇත්තේ කොට්‌ටාව, කහතුඩුව, ගැලනිගම, දොඩන්ගොඩ, වැලිපැන්න, කුරුඳුගහහැතැප්ම, බද්දේගම හා පින්නදූව ප්‍රදේශවලයි.
මේ ව්නවිට මංතීරු 4කින් සමන්විත වන අතර ඉදිරියේ දී මෙය මංතීරු 6ක් දක්වා වැඩි කිරීමට ඉඩම් පවරාගෙන ඇතැයි පැවසෙනවා. මෙම අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 100 ක උපරිම වේගයෙන් ධාවනය කළ හැකි වන අතර අවම වේගය මාස හයකට පසු පනවන බවයි වාර්තා වෙන්නේ.
කොට්ටාවේ සිට අධිවේගී මාර්ගයට පිවිසෙන්නෙකුට කිලෝමීටර් 44ක් දුරින් ඉන්ධන පිරවුම් හලක් පිහිටුවා තිබෙනවා. ගැලනිගම ප්‍රධාන හදිසි අනතුරු ඒකකය පිහිටා ඇති අතර කුරුඳුගහ හැතැප්ම හදිසි අනතුරු ඒකක දෙකක් ස්ථාපිත කර තිබෙනවා.
අධිවේගී මඟෙහි යොදවා ඇති මාර්ග සංවර්ධන කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 500 කි. පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව ද 500කි. කාර් 9ක්, යතුරු පැදි 9ක්, ගිලන්රථ 6ක්, පොලිස් රථ වාහන 2ක්, බවුසර් 3ක්, ගිනි නිවන රථ 3ක් මේ වන විට සේවයේ යොදවා තිබෙනවා.
හදිසි අවස්ථාවකදී අධිවේගී මාර්ගයේ පොලීසියට 1969 අංකයට ඇමතීමෙන් දැනුම්දීමට පුළුවන.
අධිවේගී මඟට ප්‍රවිශ්ට වීමේ දී ටිකට්පතක් නිකුත් කරනු ලබන අතර පිටවීමේ දී මුදල් අය කෙරේ.
කොට්ටාව සිට ගාල්ලට සම්පූර්ණ දුර යන්නේ නම් වාහන සඳහා අය කරන ගාස්තු මෙසේය.
කාර්, කැබ්, වෑන්(ආසන 9 දක්වා), ලොරි (ඇක්සල් දෙක හා රෝද 4) සඳහා
ගාස්තුව රු. 400/- කි.
ආසන 9-22 වෑන් බස් රථ සඳහා
ගාස්තුව රු. 700/- කි.
ආසන 22ට වැඩි බස් රථ, රෝද 6 හෝ ඇක්සල් 3 ලොරි සඳහා
ගාස්තුව රු. 1,500/- කි.
ඈඳූ මෝටර් කෝච් බස් රථ හා ඇක්සල් 4 ලොරි සඳහා
ගාස්තුව රු. 2,000/- කි.
මාර්ගයට අනවසරයෙන් ඇතුල්වන්නන් සඳහා දඩය රු. 5,000/- කි.
ස්තුතිය : gossip9
Thursday, September 29, 2011
අරුම පුදුම රැෆ්ල් ත්‍යාග
මාතර ශ්‍රී ලංකා යුනයිටඩ් වූෂු සංගමයේ ක්‍රීඩා අරමුදලට ආධාර පිණිස අලෙවි කරනු ලබන ලොතරැයියක(raffle) 2 වන ත්‍යාගය වශයෙන් ලබා දෙනු ලබන්නේ අරුම පුදුම ත්‍යාගයකි. එනම් විදුලි සෝපානයකි( Electric Lift). එහි 1 වන හා 3 වන ත්‍යාග සාමාන්‍ය ත්‍යාග වේ. ඒවා නම් පිළිවෙලින් ජංගම දුරකතනයක් හා විදුලි ස්ත්‍රික්කයකි. මෙම ලොතරැයිය 2011 සැප්තැම්බර් මස 30 වන දින දිනුම් අදිනු ලබන අතර මිල රු. 50 ක් වන බව ද එහි සඳහන් වේ.
Saturday, September 24, 2011
UARS චන්ද්‍රිකාව සෙනසුරාදා (24) පෙරවරුවේ පොළවට කඩා වැටෙයි
UARS චන්ද්‍රිකාව අද (24) පෙරවරුවේ පැසිෆික් සාගරයට ඉහළින් පෘථිවි වැයුගෝලයට ඇතුල් වූ බවත් එය පැසිෆික් සාගරයට කඩා වැටුන බවත් කැලිෆෝනියා හි වැන්ඩර්බර්ග් ඒකාබද්ධ අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. එහෙත් එය වැටුන ස්ථානය තවමත් ස්ථිරව හඳුනාගෙන නොමැති බවත් අද උදෑසන එහි දිවිය දැවෙන ගිනි ගුලියක් සේ දැවැන්ත පැසිෆික් සාගරයෙන් නිමාකළ බවත් ඔවුහු සඳහන් කළහ.
Wednesday, September 21, 2011
ටොන් 6 ක චන්ද්‍රිකාවක් සිකුරාදා පොළවට වැටෙනවා
නාසා මගින් 1991 දී ඉහළ වායුගෝලීය ඕසෝන් ස්ථරය, සුළං හා උෂ්නත්ව පර්යේෂණ සඳහා අභ්‍යාවකාශගත කළ චන්ද්‍රිකාවක් (Upper Atmosphere Research Satellite) අක්‍රීය වීමෙන් පසු ලබන සිකුරාදා (23) පෘථිවිය මතට කඩා වැටීමට නියමිත බව නාසා විද්‍යාඥයින් ප්‍රකාශ කරති. මෙය බස් රථයක ප්‍රමාණයේ ටොන් 6 ක් පමණ බරැති එකකි. කඩා වැටෙන මොහොතේ පෘථිවි වායුගෝලයට ඇතුළු වනවිට අඩි 35 ත් 15 ත් අතර කොටස්වලට කැඩෙන බවත් ඒවා කිලෝග්‍රෑම් 1 සිට 158 දක්වා පරාසයක බරකින් යුක්ත විය හැකි බවත් සුන්බුන් වර්ග කිලෝමීටර් 800 ක ප්‍රමාණයක විසිරෙනු ඇති බවත් විද්‍යාඥයෝ පවසති. කෙසේ වෙතත් අවසන් මිනිත්තු 20 වනතෙක් මෙම චන්ද්‍රිකාව වැටෙන ප්‍රදේශය ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ 1991 සැප්තැම්බර් 12 දින අභ්‍යාවකාශගත කළ අවස්ථාවේදී ගනු ලැබූ UARS චන්ද්‍රකාවයි.
Friday, September 9, 2011
සරසවි අනධ්‍යයන සේවකයෝ ලබන සඳුදා ලෙඩවෙති
සරසවි අනධ්‍යයන සේවකයින් වැටුප් විෂමතා හා හිඟ දීමනා ලබාගැනීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගෙන මේ වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹී තිබෙනවා. එහි පළමු පියවර වශයෙන් ලබන සඳුදා (12) සියළුම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ලෙඩ නිවාඩු දැමීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ලබන සඳුදා සියළුම විශ්වවිද්‍යාලවල වැඩ කටයුතු ඇණහිටිනවා. මේ සඳහා විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් ද එක්වී සිටිනවා.
1997 රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමේදී විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් වැඩි නොවීම නිසා රජයේ හා විශ්වවිද්‍යාල සේවක වැටුප් අතර විෂමතාවයක් පැන නැඟී තිබෙනවා. එසේ තිබියදී පසුගිය මැයි මාසයේදී ඇරඹි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය මාස 2 ක පමණ කාලයක් පැවති අතර එය ජයග්‍රහණය කර ඔවුන්ගේ වැටුප් ඉහළ ප්‍රතිශතයකින් වැඩි කරගනු ලැබුවා. එම ආචාර්ය වැටුප් වැඩිවීමත් සමග විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් විෂමතාවය තවත් වැඩිවුණා.
මේ අතර විශ්වවිද්‍යාල විධායක නිලධාරී සහ පරිපාලන නොවන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ මීට පෙර ආචාර්ය හා අනෙකුත් සේවක වැටුප් ඉහළ දැමීමේදී යම් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් දැන් එම ප්‍රතිපත්තිය ක්‍රියාක්මක නොවන බවත් ය.
එනම්,
1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රෙල්ඛ අංක 334 මගින් අධ්‍යයන කාර්ය මණ්ඩලයට වෘත්තීය දීමනාවක් ගෙවන විට අනෙකුත් කාර්ය මණ්ඩලයට වැටුප් වර්ධක 4 කට සමාන අගයක දීමනාවක් ගෙවීම
2. අංක 548, 550, 552 වැටුපෙන් 25% ක දීමනාවක් සියළු කාර්ය මණ්ඩලවලට ලබාදීම
3. අංක 558 මගින් අධ්‍යයන කාර්ය මණ්ඩලයට පොත් දීමනාව ගෙවන විට අංක 563, 564 න් අනෙකුත් කාර්ය මණ්ඩලවලට දීමනාවක් ලබාදීම
Monday, September 5, 2011
මාතර මහනගර සභා ඡන්දෙට බැට්මෑන් කෙනෙක්
ලබන මස පැවැත්වෙන මාතර මහ නගර සභා මැතිවරණය සඳහා එක් අපේක්ෂකයෙක් පක්ෂ දෙකක් යටතේ තරග කරනවා. ඔහුට පක්ෂ සළකුණු දෙකක් හා මනාප අංක 2 ක් යටතේ එනම් රුහුණු ජනතා පක්ෂයෙන් මෝටර් කාර් සළකුණ යටතේ මනාප අංක 13 න් ද ස්වාධීන කණ්ඩායම- 01න් කණ්ණාඩි කූට්ටම සළකුණ යටතේ මනාප අංක 17 න් ද තරග වදිනවා.
මෙම ක්‍රමය ප්‍රධාන පක්ෂ දෙකට එනම් එක්සත් ජාතික පක්ෂයටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් පූර්වාදර්ශයක් කරගත හැකියි. මෙම ක්‍රමයෙන් මැතිවරණ ප්‍රතිපල නිකුත් කළ වහාම ඔහුට හෝ ඇයට තම පක්ෂය මාරු කළ හැකියි. පක්ෂ මාරු කිරීමට වාසි බලමින්, කල් බලමින් සිටීමේ අවශ්‍යතාවයක් මතු වන්නේ නැහැ. පක්ෂ මාරු කරන්නන්ට කොමිස් ගෙවීමට අවශ්‍යතාවයක් මතු වන්නේ ද නැත. මේ ක්‍රමය ගැන කල්පනා කර බැලුවොත් හොඳයි නේද ?
Sunday, August 14, 2011
ග්‍රීස් යක්කු
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ග්‍රීස් යකුන් යැයි හඳුන්වන නාඳුනන අපරාධකරුවන් පිරිසක් ගැවසෙනවා. මේ සිදුවීම්වලින් මහජනතාව භීතියටත් ත්‍රාසයටත් පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ.
පුත්තලම
අද (14) පුත්තලමේ හිජරත්පුරම් ගම්මානයේ සැක කටයුතු ග්‍රීස් යකුන් යැයි සැක සිතෙන පුද්ගලයින් දෙදෙනෙක් ගැවසී ඇති බවත් එයින් ගැමියන් කලබලයට පත්වී ඇති බවත් වාර්තා වෙනවා. පොලීසිය ද ගම්වැසියන් හා එක්වී ඔවුන් සෙවීමට මෙහෙයුමක් අරඹා තිබෙනවා.
බදුල්ල
බදුල්ල පිටවලගම ප්‍රදේශයේ දී ජනේලයකින් කාන්තාවකට එබිකම් කළ සැක කටයුතු ග්‍රීස් යකෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලීසියට බාර දී තිබෙනවා.
නිවසක් මංකොල්ලකෑමට සැරසුනු වයස අවුරුදු 16 ක තවත් ග්‍රීස් යකෙක් බදුල්ලේ තල්දෙන ප්‍රදේශයෙන් අල්ලාගෙන තිබෙනවා. ග්‍රීස් යකෙක් ලෙස වෙස්වලාගෙන ගනු ලැබූ ඔහුගේම ඡායාරූප 2 ක් ඔහුට අයත් ජංගම දුරකතනයෙන් සොයාගෙන තිබෙනවා. එම ඡායාරූප මාධ්‍යවල ද වාර්තා වුණා.
බදුල්ලේ අවුරුදු 16ක ග්‍රීස් යකා
හපුතලේ
ග්‍රීස් යකුන් යැයි සැක කළ පුද්ගලයින් දෙදෙනෙක් පසුගිය 11 වනදා ගම්වාසීන් විසින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙම පුද්ගලයින් දෙදෙනා මොනරාගල පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර සිද්ධිය වන අවස්ථාවේදී කළු පැහැති ඇඳුම් හැඳ සිටි බවත් පුදේශවාසී කාන්තාවක් සමඟ කතා කරමින් සිටි බවත් වාර්තා වෙනවා.
මහියංගනය
මහියංගනය ගුරුමඩ ප්‍රදේශයෙන් තවත් ග්‍රීස් යකෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු එම ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුටම පසුගිය දින කිහිපයේදී පහර දී තිබෙනවා. මෙම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය ජූලි මාසයේදීය.
මේ අතර පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් ප්‍රකාශ කරන්නේ මහජනතාවට මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත නොයුතු බවත් පොලීසිය මේ සම්බන්ධයෙන් රටපුරා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේවනවිට ක්‍රියා කර ඇති බවත්ය.
ජනමාධ්‍ය මේ ගැන වගකීමෙන් වාර්තා කරන ලෙසත් ඉදිරියේදී පුවත්පත්වල “ග්‍රීස් යකා” යන වචනය පාවිච්චි කිරීමෙන් වළකින ලෙසත් පුවත් පත් ආයතන ප්‍රධානීන්ගෙන් ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටියා.
මේ සම්බන්ධයෙන් සිද්ධීන් 21 ක් වාර්තා වී ඇති අතර සැකකාර ග්‍රීස් යකුන් 47 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.
Wednesday, August 3, 2011
මිල්ලන්ගොඩ රාජා ඇත් රජු දැයෙන් සමුගනී
ආසියාවේ දිගම දළ ඇතා වන මිල්ලන්ගොඩ රාජා ඇතා අද (03) දහවල් 12.00 ට පමණ මියගොස් ඇත. වයෝවෘද්ධව අසනීපයෙන් පසුවූ
ඇතා මියයන විට වයස අවුරුදු 70 පමණ විය.
දළදා මාලිගාවේ රාජා ඇත් රජුගේ මරණයෙන් පසු වැඩිම කලක් දළදා වහන්සේ වැඩම කරනු ලැබුවේ මිල්ලන්ගොඩ රාජා ඇතුගේ පිට මතිනි.
පසුගිය දා මිල්ලන්ගොඩ රාජා ඇතාට සෙත් පතා පිරිත් සඡ්ඣායනයක් ද පැවැත්වීය.
කෑගල්ලේ මොලගොඩ ජීවත් වූ මෙම ඇතාගේ අයිතිකරු වන්නේ අප්පුහාමි මිල්ලන්ගොඩ ය. ඔහු පවසන්නේ මෙම ඇතා තමන්ට ලැබුණේ 1945 දී බවයි. ලොකු රාජා නමින් ද හැඳින්වෙන මෙම ඇත් රජුගේ දළ බිම ගෑවෙන අතර අඩි 7 ත් 7 1/2 පමණ දිගය.
බෞද්ධ ජනතාවගේ ගෞරවයට ද දෙස් විදෙස් සංචාරකයින් අතර ඉමහත් ජනාදරයට ද පාත්‍ර වූ මිල්ලන්ගොඩ හස්තිරාජයාට නිවන් සුව පතමු.
Wednesday, July 13, 2011
කැලිඩෝව නිරුවත් වෙයි
කලුතර පිහිටි කැලිඩෝ මුහුදු වෙරළ (Calido Beach) දෙස් විදෙස් සංචාරකයින් විනෝද වන ජනප්‍රිය වෙරළ තීරයක්. කලු ගඟ කලුතර බෝධිය ළඟින් වමට හැරී කිලෝමීටර් 2.5 ක් පමණ ගමන් කර මුහුදට වැටෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, මුහුදත් කලු ගඟත් අතරින් මෙම කැලිඩෝ වෙරළ තීරය නිර්මාණය වෙන්නේ. දේශිය සංචාරකයින්, විශේෂයෙන් කලුතර බෝධිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වැඩි දෙනෙක් නැරඹීමට පැමිණෙන මෙම වෙරළ තීරය කලුතර නගර සභාව මගින් පාලනය කරනු ලබනවා.
කලුතර බෝධිය වගේම ජනප්‍රිය පාසල් 3 ක් ද මේ අසළ පිහිටා තිබෙනවා. ඒවා නම් කලුතර විද්‍යාලය, සිරිකුරුස විද්‍යාලය හා වේලාපුර මහා විද්‍යාලයයි.
මීට වසරකට පමණ පෙර වර්තමාන රජය විසින් කැලිඩෝ වෙරළ සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළා. මෙය තවත් පියවරක් ඉදිරියට යමින් බෞද්ධ ජනතාවගේ වන්දනීය ප්‍රදේශයක පිහිටි කැලිඩෝ වෙරළ තීරය නිරුවත් සංචාරක වෙරළ තීරයක් කිරීමට ස්ටාර්ඩස්ට් කැසිනෝ (Stardust Casino) ආයතනය පිඹුරුපත් සකසමින් සිටිනවා. මේ සම්බන්ධව ඔවුන් බලධාරීන් සමඟ සාකච්චා වට ගණනාවක්ම පවත්වා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී කැලිඩෝ හි ඔබට නිරුවතින් ගතකිරීමටත් නිරුවත් ළඳුන් හා පිරිමින් දැකබලා ගැනීමටත් හැකි වේවි. කෙසේ වෙතත් කලුතර මහ නගර සභා පරිපාලනය මේ සම්බන්ධයෙන් දැනටමත් ඔවුන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.
අපි බලාගෙන සිටිමු. මෙයින් දැකගත හැකි වන්නේ සංචාරකයින්ගේ නිරුවත ද බලධාරීන්ගේ නිරුවත ද ?
Monday, June 27, 2011
ඇස්ටරොයිඩයක් අද (27) පෘථිවිය ආසන්නයෙන් යයි
අද (27) ග්‍රිනිච් වේලාවෙන් පස්වරු 5.20 ට කුඩා ප්‍රමාණයේ ඇස්ටරොයිඩයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනවා. 2011 MD ලෙස එය නම්කර තිබෙනවා. මෙය පෘථිවියට කිලෝමීටර් 12300 ක් (සැතපුම් 7600) ක් ආසන්නව ගමන් කරන බවයි, නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ. මෙය පෘථිවි වායුගෝලයට ඇතුල්වී ගිනියම් වන බවත් එහෙත් එය පෘථිවියට බලපෑමක් සිදු නොවනු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා. මෙය ඉතා කුඩා ප්‍රමාණයේ ඇස්ටරොයිඩයක් (ග්‍රහකයක්) වන අතර විශ්කම්භය මීටර් 5 – 20 අතර වනවා. සාමාන්‍යයෙන් සෑම වසර 6 කට වරක් මෙවැනි කුඩා ප්‍රමාණයේ ග්‍රහක පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය තව දුරටත් කියා සිටිනවා.
පෘථිවි දකුණු අර්ධගෝලයේ ඇන්ටාක්ටිකාවට ආසන්නව ගමන් කරන මෙය පියවි ඇසින් දැකගත නොහැකි බවත් දුරේක්ෂයක් ආධාරයෙන් එම ප්‍රදේශයට දර්ශනය කරගත හැකි බවත් නාසා ආයතනය පවසනවා.
2005 YU55 නමින් විශ්කම්භය මීටර් 400 ක් පමණ වන තවත් කුඩා ඇස්ටරොයිඩයක් 2011 නොවැම්බර් 08 වැනිදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇති.
2011 MD ඇස්ටරොයිඩයේ කක්ෂය පහත දැක්වේ.
Wednesday, June 22, 2011
බැන් කී සඳ යළි පායයි
බැන් කී මූන් දෙවන වරටත් එක්සත් ජාතීන්ගේ මහලේකම් වශයෙන් තේරී පත් වුණා. අවුරුදු 67 ක් වයසැති බැන් කී හිටපු දකුණු කොරියානු විදේශ ඇමතිවරයෙකි. ඔහුගේ දෙවන ධූර කාලය 2012 ජනවාරි 01 දා සිට 2016 දෙසැම්බර් 31 දක්වා වනු ඇත.
මෙය පෘථිවියේ අමාරුම හා කාර්ය බහුලම රැකියාව බවත් එහෙත් තම මව්රටට ඉමහත් ආඩම්බරයක් බවත් දකුණු කොරියානු විදේශ ඇමති කිම් සුන් වාන්, මූන්ගේ පත්වීමෙන් අනතුරුව මහා මණ්ඩලයේදී ප්‍රකාශ කළා.
මූන්ගේ ඉදිරි වසර පහ තුළ ලෝකයේ ඇතිවන යුද්ධවලට වඩා දේශගුණික විපර්යාස නිසා ඇතිවන මිහිතලය උණුසුම්වීම වැනි පාරිසරික ගැටලු ඔහුට මහත් අභියෝගයක් වනු ඇති.
මුතුරාජවෙල කිඹුල් උද්‍යානය
මුතුරාජවෙල අභයභූමියේ කිඹුල් උද්‍යානයක් ඉදිකිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සැරසෙනවා. මුතුරාජවෙල අභයභූමිය, මීගමුවට දකුණු දෙසින් පිහිටි මීගමුව කලපුව ද ඇතුළත් හෙක්ටයාර් 6,000 ක පමණ භූමි ප්‍රදේශයක්.
මෙම කිඹුල් උද්‍යානය ළඟදීම විවෘත කරන බවත් මෙහි පරමාර්ථය වන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමත් කිඹුලන් සංරක්ෂණය කිරීම බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවංශ පතිරාජ සඳහන් කරනවා.
ගිං හා නිල්වලා ගංගාවල සිටින කිඹුලන් මෙම උද්‍යානයට මුදාහැරීමට කටයුතු කරන බවත් එමඟින් එම ප්‍රදේශවල ජනතාවට කිඹුලන්ගෙන් ඇති වී තිබෙන තර්ජනයට විසඳුමක් ලැබෙන බවත් ඔහු කියා සිටිනවා.
මෙම උද්‍යානය ඉදිකිරීමෙන් අනතුරුව දඬුගං ඔයේ බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට ද නියමිතයි. එමඟින් සංචාරකයන්ට කිඹුලන් නැරඹීමට අවකාශ ලැබෙනවා. ඊට අමතරව උද්‍යානයේ නැරඹුම් කුලුණු ඉදිකිරීමට ද අපේක්ෂිතයි.
මෙවැනි කිඹුල් උද්‍යාන ලෝකයේ බොහෝ රටවල ඉදිකර තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි හි විශාල කිඹුල් උද්‍යානයක් තිබෙනවා.
දේශපාලනයේ කිඹුල් කඳුලු හෙලන අපේ රටේ ඇත්තන්ට මෙය බොහෝ වටිනාකමක් ගෙනදේවි.
Friday, June 17, 2011
පී. බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීම බොරුවක් ලු
මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි ඊයේ වාර්තා වූ ප්‍රවෘත්තිය සාවධ්‍ය හා කටකථාවක් බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් ආචාර්ය පී.බී. ජයසුන්දර ප්‍රකාශ කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිම තනතුරක් සඳහා බලාපොරොත්තුවක් නොමැති බවත් යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවේ සිදුවන වේගවත් සමාජ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල අත්කර ගැනීම තමාගේ අභිලාෂය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීමේ පුවත ඊයේ (17) සමහර පුවත් වෙබ් අඩවිවල වාර්තා වුණා.
Monday, June 13, 2011
සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය පොසොන් පොහෝ දිනයේ දී
මේ සියවසේ දීර්ඝතම හා අඳුරුතම චන්ද්‍රග්‍රහණය මේ පොසොන් පොහෝ දිනයේදී (15) ලක්වැසි ජනතාවට දැකගැනීමට හැකිවෙයි. මේ බව සඳහන් කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, තාරකා විද්‍යාව හා අභ්‍යාවකාශ යෙදුම් සම්බන්ධ උපදේශක හා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න ය.
ආචාර්ය ජයරත්න තවදුරටත් සඳහන් කරන්නේ මෙම 15 දින ප.ව.10.55 ට චන්ද්‍රයා පෘථිවි උපඡායාවට ඇතුළුවන බවත් එය අවසන් වන්නේ 16 දින පෙ.ව. 4.31 ට බවත් ය. නමුත් මෙම දර්ශනය අපට පැහැදිලිව දැකගත හැකි වන්නේ 15 දින ප.ව. 11.53 සිට 16 දින පෙ.ව. 3.32 දක්වා කාලය තුළදීය. ඒ චන්ද්‍රයා පෘථිවි පූර්ණ ඡායාවේ ගතකරන කාලයයි. එනම් පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවන කාලයයි.
මෙය යුරෝපයට හා දකුණු ඇමෙරිකානු රටවලට හිරු බැසයාමෙන් පසුව හා ආසියානු හා අප්‍රිකානු රටවලට හිරු උදාවීමට පෙර දර්ශණය වනු ඇත.
මීලඟ චන්ද්‍රග්‍රහණය එනම් මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ ලබන දෙසැම්බර් 10 වන දිනයි. එය ද ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට පුළුවන. මෙම චන්ද්‍රග්‍රහණය සිදුවන කාලය මිනිත්තු 25 ක් පමණ වේ.
ශ්‍රී ලංකාවාසීන්ට මීලඟට දැකගත හැකි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ 2018 ජනවාරි 31 දිනයි.
සරසවි ඇදුරු හඬ මාතර දී මුළු දෙයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ගැටළු විසඳා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කිරීමට බල කෙරෙන මහජන සම්මන්ත්‍රණය 2011 ජුනි 13 දින සවස 4.00 ට මාතර දුම්රියපොළ ඉදිරිපිට සමුපකාර මන්දිරයේදී පැවැත්වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි, මහාචාර්ය නවරත්න බණ්ඩාර, මහාචාර්ය සුමනසිරි ලියනගේ, රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එල්. පී. ජයතිස්ස, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, එහි උපසභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය දඹර අමිල හිමි, සහකාර ලේකම් කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රභාත් ජයසිංහ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහිම් මෙන්ඩිස්, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සෙනගරපිල්ලේ අරිවල්සහන් හා අධිනීතිඥ චන්ද්‍රකුමාර විජයගුණවර්ධන යන වියතුන් මෙම මහජන සම්මන්ත්‍රණයේදී ජනතාව ඇමතීමට නියමිතය. රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුමනසිරි වාව්වගේ මූලාසනය හොබවනු ඇත.
මෙම සම්මන්ත්‍රණය රුහුණ විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් එකමුතුව මගින් සංවිධානය කරනු ලබන අතර http://uteachers.blogspot.com අඩවියට පිවිසීමෙන් සජීව අන්තර්ජාල විකාශය නැරඹිය හැකිය.
Tuesday, June 7, 2011
කොළඹ සිට නුවරට ගුවනින් යන්න
දැන් කොළඹ සිට මහනුවර දක්වා කුළී ගුවන් ගමන් සේවයක් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අනුබද්ධ ශ්‍රී ලංකන් එයාර් ටැක්සි (Sri Lankan Air Taxi) විසින් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අලෙවි ප්‍රධානී මොහොමඩ් ෆසාල් සඳහන් කරන්නේ මෙම එයාර්ටැක්සි (Air Taxi) සේවය මගීන්ට ඉක්මන්, ආරක්ෂාකාරී හා සුවපහසු සේවයක් සපයන බවයි.
කොළඹ සිට මහනුවර-පොල්ගොල්ල දක්වා ගමනට ගතවන්නේ විනාඩි 30 ක් වැනි කෙටි කාලයකි. එක් ගමනකට ගාස්තුව රු. 4,900 කි. යාමට හා ඊමට ගාස්තුව රු. 9,800 කි.
පෙ.ව. 9.00 ට කොළඹින් පිටත්වන ගුවන්යානය පෙ.ව. 9.30 ට පොල්ගොල්ලට ළඟා වන අතර පොල්ගොල්ලෙන් නැවත පෙ.ව. 10.00 ට පිටත්වන අතර එය කොළඹට පැමිණෙන්නේ පෙ.ව. 10.30 ටය.
මෙම ගුවන් සේවය සඳහා දැනට ඩි හැවිලන්ඩ් ට්වින් ඔටර් නමැති ද්විත්ව එන්ජින් සහිත ගුවන් යානා දෙකක් භාවිතා කරනවා. එක් ගුවන් යානයක එකවර මගීන් 15 කට ගමන් කළ හැකියි.
බෙන්තොට, හම්බන්තොට, අම්පාර, කොග්ගල, නුවරඑළිය, කාසල්රී හා තංගල්ල දක්වා ද මෙම සේවය දීර්ඝ කිරීමට Sri Lankan Air Taxi ඉදිරි කාලයේදී බලාපොරොත්තු වනවා.
මේවාත් සසඳා බලන්න.
සේවය ගාස්තු ගතවන කාලය
සාමාන්‍ය බස් සේවය රු. 80.00 පැය 3 1/2 – පැය 4
සුඛෝපභෝගී බස් සේවය රු. 140.00 පැය 3 – පැය 3 1/2
දුම්රිය සේවය – සාමාන්‍ය රු. 190.00 පැය 3 1/2 – පැය 4
දුම්රිය සේවය – නගරාන්තර රු. 360.00 පැය 3 – පැය 3 1/2
කුළී රථ සේවය රු. 3500-4500 පැය 2 1/2 – පැය 3
Air Taxi රු. 4900 විනාඩි 30
සසඳා බලා ඔබගේ ගමන් පහසුව ඔබම තීරණය කරන්න
Friday, June 3, 2011
කණෙන් රිංගා මොළයට ඇතුළුවන සෙලියුලර් මාරයා
ජංගම දුරකථන භාවිතයේදී හානිකර විකිරණ නිකුත් කරන බවත් එම විකිරණ මිනිස් මොළයේ පිළිකා ඇති කිරීමට හේතුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සිදුකරන ලද පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා. ඇමෙරිකාව ඇතුළු රටවල් 14 ක විද්‍යාඥයින් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මගින් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව මේ බව ප්‍රකාශයට පත් කළේ පසුගිය ජුනි 01 දාය.
ජංගම දුරකථන භාවිතා කරන විට එය ක්ෂුද්‍ර තරංග උදුනක (Microwave Oven) සිදුවන තරංග ජනනයට බොහෝ සේ සමාන වෙනවා. ක්ෂුද්‍ර තරංග උදුනක සිදුවන ආහාර පිසීම සේම ජංගම දුරකථන තරංග නිසා මොළයේ ඇති සෛල පිසීම වැන්නක් සිදුවන බවත් මොළයේ මතකය සම්බන්ධ කොටසට දැඩිසේ බලපාන බවත් ලෝස් ඇන්ජලීස් සෙඩාර්ස්-සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ සභාපති වෛද්‍ය කීත් බ්ලැක් ප්‍රකාශ කරනවා.
විකිරණ පර්යේෂණ සම්බන්ධව වසර 30 ක පළපුරුද්දක් ඇති වොෂිංටන් සරසවියේ පර්යේෂණ මහාචාර්ය හෙන්රි ලේ පවසන්නේ මෙම අවදානමින් මිදීමට නම් සෙලියුලර් භාවිතය අවම කරගන්නා ලෙසයි.
ළමයින්ගේ හිස්කබල හා එහි පටලයන් ඝනත්වයෙන් අඩු බැවින් මෙම විකිරණ විනිවිද යාම ඉතා පහසුවෙන් සිදුවන බවත් විශේෂයෙන් ඔවුන්ගේ ජංගම දුරකථන භාවිතය ඉතා අනතුරුදායක බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
ඇපල් අයිෆෝන් භාවිතයේදී දුරකථනය මිලිමීටර් 15 ක් ශරීරයෙන් ඈත්ව ද බ්ලැක්බරි භාවිතයේදී එය මිලිමීටර් 25 ක් දුරින් ද තබාගන්නා මෙන් එම නිෂ්පාදන සමාගම් තම මාර්ගෝපදේශයන්හි සඳහන් කරනවා.
තම ජංගම දුරකථනයේ බාහිර ශබ්ද විකාශක පහසුකම (speakerphone)හෝ රැහැන්ගත සවන්කඩක් (wired earpiece) භාවිතා කිරීමෙන් මෙම පිළිකා අවදානම අවම කිරීමට හැකි බවත් ඇමතුම් වෙනුවට හැකි සෑම විටම පාඨික පණිවුඩ (text messages) භාවිතා කිරීමට සෙලියුලර් ග්‍රාහකයන් උනන්දු වන ලෙසත් පර්යේෂකයින් දන්වා සිටිනවා.
මෙම හානිකර විකිරණ බහුලව නිකුත්වන්නේ දුරකථනය ඇමතුමක් හා සම්බන්ධවන මොහොතේදීත් එය රැගෙන යාමේදීත් ඒ වගේම දුර්වල සංඥා ලැබෙන අවස්ථාවලදීත් ය.
Monday, May 30, 2011
කටුනායක වෙළඳ කලාපයට විශ්‍රාම වැටුප් නෑ
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් හට යෝජිත පෞද්ගලික විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා මේ බව තමා වෙත දුරකතනයෙන් දැනුම් දුන් බව ඔහු කියා සිටිනවා.
අද දෙවැනි දිනටත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇගළුම් සේවකයින් මෙම යෝජිත විශ්‍රාම වැටුපට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුවා. උද්ඝෝෂකයින් පළවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් පාවිච්චි කළා. මෙහිදී සිදුවූ ගැටුම්වලදී පොලිස් නිලධාරීන් 9 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරයෙක් තුවාල ලැබූ නිලධාරීන් අතර වෙනවා. මේ අතර වෙළඳ කලාප සේවකයින් 15 දෙනෙක් ද තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා මීගමුව සහ රාගම රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.
කෙසේ වෙතත් රජය මීට පෙර ප්‍රකාශ කළේ කුමන විරෝධතා පැවතියත් මෙම පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.
රූපවාහිනී නව සභාපති මොහාන්
ජාතික රූපවාහිනියේ නව සභාපති වශයෙන් කෘතහස්ත මාධ්‍යවේදියෙකු වන මොහාන් සමරනායක , ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමති කෙහෙලිය රඹුක්වැල්ල විසින් අද (30) සිට පත්කර තිබෙනවා.
මොහාන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධිධරයෙක් වන අතර ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ද කටයුතු කරනු ලබනවා. ඔහු ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් ද කටයුතු කර තිබෙනවා. මීට අමතරව ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යන තනතුරු ද හොබවා ඇති මොහාන් රූපවාහිනී වාණිජ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබෙනවා.
තව ද එක්සත් ජාතීන්ගේ තොරතුරු මධ්‍යස්ථානයේ ජාතික තොරතුරු නිලධාරියා වශයෙන් ද කොළඹ හා වයඹ විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙක් වශයෙන් ද සේවය කර තිබෙනවා.
මෙතෙක් රූපවාහිනී සභාපතිධූරය දැරූ සරත් කෝංගහගේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්කිරීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
TATA NANO දැන් ශ්‍රී ලංකාවේ
ඉන්දියාවේ ටාටා මෝටර්ස් සමාගම ටාටා නැනෝ නමින් කුඩා මෝටර් රථයක් ඊයේ (29) ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳපොලට හඳුන්වා දෙනු ලැබුවා. මේ අනුව ටාටා නැනෝ සඳහා ඔවුන්ගේ ප්‍රථම විදේශ වෙළඳපොල වන්නේ ශ්‍රී ලංකාවයි. මේ බව සනිටුහන් කරමින් ටාටා 50 වසරක ශ්‍රී ලංකා නියෝජිත වන DIMO සමාගම හරහා ඊයේ සිය ප්‍රථම අලෙවිය සිදුකරනු ලැබුවා. මෙහි විශේෂත්වය වන්නේ දැනට ලොව මිල අඩුම මෝටර් රථය මෙය වීමයි. එය ඇමෙරිකානු ඩොලර් 2,500 කි. ශ්‍රී ලංකාවේදී මෙහි මිල රු. 925,000 කි.
TATA Nano විශේෂාංග
දිග : මීටර් 3.1
උස : මීටර් 1.6
පළල : මීටර් 1.5
සිලින්ඩර් 2
අශ්වබල 623
ඉන්ධන කාර්යක්ෂමතාව : පෙට්‍රල් ලීටරයට කි.මී. 20
Saturday, May 28, 2011
ආචාර්යවරුන් සටනේ, සිසුන් උසාවියේ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයනාංශ ප්‍රධාන තනතුරුවලින් ඉවත් වීම වාරණය කරන රිට් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙක් මේ වනවිට අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.
මෙහි වගඋත්තරකරුවන් ලෙස වයඹ, රුහුණ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, සනාතන සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, පීඨාධිපතිවරුන් හා උසස් අධ්‍යාපන ඇමතිවරයා නම්කර තිබෙනවා. මෙහි පෙත්සම්කරුවන් වන්නේ වයඹ විශ්වවිද්‍යාලයේ අසංක බුලේගොඩ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසික රත්නායක හා රුහුණ විශ්වවිද්‍යාලයේ ඒ. එච්. අමරසිංහ යන සිසුන් තිදෙනාය.
මේ වනවිට වයඹ විශ්වවිද්‍යාලයේ 16 දෙනෙක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 26 දෙනෙක් හා රුහුණ විශ්වවිද්‍යාලයේ 41දෙනෙක් ද අධ්‍යයනාංශ ප්‍රධාන තනතුරුවලින් ඉවත්ව සිටිනවා.
මේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයන ගැටළුවලට බාධා ඇති වී ඇති බවත්, මෙම ඉල්ලා අස්වීම නීතිවිරෝධී බවත්, ඒ සඳහා නීත්‍යානූකූල බලයක් නොමැති බවත් ඔවුන් පෙත්සම මගින් කියා සිටිනවා.
Friday, May 27, 2011
නිවීගිය හෙළ එළිය
ගුරුවරයෙකු, ගත්කතුවරයෙකු, කවියෙකු, ගීත රචකයෙකු මෙන්ම සාහිත්‍යධරයෙකු වූ හෙළ මහා ප්‍රාඥ අරිසෙන් අහුබුදු ශූරීන් ඊයේ (26) අභාවප්‍රාප්ත වුණා. 1920 දී උපන් ඔහු මිය යනවිට 91 වැනි වියේ පසුවුණා.
කතළුව රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලද අහුබුදු ඉන්පසුව නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වුණා. නුවරඑළිය ට්‍රිනිටි විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ඇරඹි ඔහු ගාල්ල මහින්ද විද්‍යාලය, මරදාන මහාබෝධි විද්‍යාලය යන පාසල්වල සේවය කරනු ලැබුවා. වසර 42 ක් ගුරු වෘත්තියේ නියැලුනු අහුබුදුවන් 1979 විශ්‍රාම ලැබූවේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙනි.
කුමාරතුංග මුණිදාස හා වෙල්ලාල ජයමහ යන වියතුන්ගේ පුරෝගාමිත්වයෙන් බිහිවූ, සිංහල බස් වහරේ ආකෘතිය වෙනස් ආකාරයක් ගත් හෙළ හවුළ සංවිධානය සමග එක්වීමට අහුබුදුවන්ට හැකි වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ආරියසේන ආසුබෝධ, අරිසෙන් අහුබුදු වුණා.
අහුබුදුවනි, ඔබට නිවන් සුව !
Thursday, May 26, 2011
සරසවි වැටුප් ප්‍රශ්ණය තවත් ඇදෙන ලකුණු
ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය අතර ඊයේ (25) සවස පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව එහි ප්‍රකාශකයෙකු පැවසුවා.
සරසවි ආචාර්යවරුන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වෘත්තීය සටනකට එළඹියේ ඔවුන් දරණ ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වෙමිනි. මැයි මස 12 වෙනිදා ඇරඹි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද වනවිට තෙවන සතියට එළඹ තිබේ.
රජය පවසා සිටින්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 100% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින බවයි. එනම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ මූලික වැටුප රු 168,000 සිට කනිෂ්ඨ ආචාර්යවරයෙකුගේ මූලික වැටුප රු. 50,000 දක්වා පරාසයක වැටුප් වැඩිවීමක් බවයි.
මෙම ගැටළු විසඳාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බව ආචාර්ය සංගමය ප්‍රකාශ කරනවා.
උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පවසන්නේ ආචාර්යවරුන්ගේ මෙම ඉල්ලීම අසාධාරණ ඉල්ලීමක් බවයි. එසේ වුවත් ඔහු ගිය වසරේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මහාචාර්යවරයෙකුගේ වැටුප රු. 200,000 කින් ද කනිෂ්ඨ ආචාර්යවරයෙකුගේ වැටුප රු. 50,000 කින් ද වැඩි කළ යුතු බවයි. මේ අතර රජයේ ඇතැම් බලධාරීන් විශ්වවිද්‍යාල මුදවා නොගත් ප්‍රදේශ ලෙස ද පසුගිය කාලයේදී අර්ථ දක්වා තිබුණා.
Monday, May 23, 2011
දිසා විනිසුරුට පහරදීමට එරෙහිව නීතිඥයින් අද මාතර උද්ඝෝෂණයක
ඊයේ මාතර දිසා විනිසුරුට හමුදා භට පිරිසක් පහරදීමට විරෝධය පළකර අද මාතර දිස්ත්‍රික්කයේ සියලුම නීතිඥයන් අධිකරණ කටයුතුවලින් බැහැරව මාතර නගරයේ විරෝධතාවයක් පැවැත්වුවා.
මාතර දිසා අධිකරණ භූමියේ සිට විරෝධතා පා ගමනින් පැමිණි නීතිඥයන් මාතර බස්නැවතුම්පළ අසළදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. මේ හේතුවෙන් අද දින මාතර සියලුම අධිකරණ කටයුතු ඇනහිට තිබෙනවා.
පහරදීම සිදුකළ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් බලකර සිටිනවා.
ඡායාරූප අනුග්‍රහය : lankatruth
Sunday, May 22, 2011
මාතර දිසා විනිසුරුට ප්‍රහාරයක්
මාතර දිසා විනිසුරු කේ.ඩී.එල්. සමන් කුමාර අද (22) උදෑසන මාතර හමුදා කඳවුර අසලදී හමුදා භටයින් පිරිසකගේ පහරදීමකට ලක්විය. මේ අවස්ථාවේදී ඔහුගේ බිරිය ද මෝටර් රථයේ සිට ඇත. සිද්ධියෙන් පසු විනිසුරුවරයා හා ඔහුගේ බිරිය මාතර මහ රෝහලට ඇතුළු කරනු ලැබීය.
හමුදා භටයෙකු පාර අවහිර වනසේ යතුරු පැදිය නතර කරගෙන දුරකථන ඇමතුමක් ගනිද්දී විනිසුරු මෝටර් රථයේ නලාව නාද කළේයැයි ඔහුට හා බිරියට මෙම පහරදීම සිදුකර ඇත. මෝටර් රථයට ද අලාභ කර ඇතැයි මාතර පොලීසිය පවසයි. විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ ව පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් මේ වනවිට එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මාතර පොලීසිය පවසයි.