Monday, March 5, 2012

මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ මුදුනේ උද්ඝෝෂණයක්

DSC00013e අද (05) දහවල් 1.00 ට පමණ මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ මුදුනට නැඟුනු පුද්ගලයෙක් අමුතුම ආකාරයේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. ඔහු බෝධීන් වහන්සේ මුදුනට නැඟ පෝස්ටරයක් අතැතිව තම ඉල්ලීම් ඉල්ලා කෑගසමින් සිටිනවා. එම ඉල්ලීම් මොනවාදැයි පැහැදිලි නැහැ. මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්ත මහතා ඇතුළු මාතර පොලීසියේ නිලධාරීන් මොහු බිමට බැස්සවීමට මහත් පරිශ්‍රමයක් දරනවා. මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්ත මහතා, ඔහුගේ ඉල්ලීම් සළකා බැලීමට සූදානම් බවත් බිමට බසින ලෙසත් ඉල්ලා සිටියා. එහෙත් ඔහු එයට අවනත වන බවක් දක්නට නොතිබූ නිසා කඹ ආධාරයෙන් බිමට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටිනවා.

මෙම උද්ඝෝෂණකරු නීති විරෝධී කසිප්පු ජාවාරමේ නිරත වන බවත් බූරුවා ක්‍රීඩාවේ නිරත වන බවත් පැවසෙනවා.  විටියල සමන් හෙවත් බූරු සමන් ලෙස හඳුන්වන මොහු තම පුතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු මුදාගැනීමට මෙසේ බෝධීන් වහන්සේ මුදුනට නැග ඇති බවත් නිල නොවන ආරංචි සඳහන් කරනවා.

zoom13

DSC00013edited

කවයෙන් පෙන්වා ඇත්තේ උද්ඝෝෂණකරු බෝධීන් වහන්සේ මුදුනේ නැග සිටි ආකාරයයි.

එම අවස්ථාවේ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශණය පහතින්

Friday, March 2, 2012

විශ්වවිද්‍යාල සේවකයින්ගේ වැටුප් විෂමතා දුරුවේ

විශ්වවිද්‍යාල අනධ්‍යයන අධ්‍යයන සහායක හා පරිපාලන කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරන ලද අංක 975 චක්‍රලේඛය මගින් සිදුවී ඇති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් 2012 පෙබරවාරි 29 දින අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා. එදිනම සවස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව තම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබුණ බව වෘත්තීය සමිති බලමණ්ඩලය පවසනවා. 2011 මාර්තු මස 21 දිනට පෙර අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් ලිඛිත ගිවිසුමක් ලබාදීමෙන් පසු තම වැඩ වර්ජනය මාර්තු මස 01 දින අවසන් කළ බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය ප්‍රකාශ කළා.

පෙබරවාරි 29 දින රුහුණ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති සේවක උද්ඝෝෂණයේ සේයා රූ පහත දැක්වේ.

DSC00007

DSC00008

DSC00009

Thursday, January 12, 2012

Airless ටයරයක් එයි

ඇමෙරිකාවේ මිචලින් ටයර් සමාගම අමුතුම ආකාරයේ ටයරයක් නිපදවා තිබෙනවා. මෙම ටයරයේ ඇති විශේෂත්වය වනුයේ ඒ සඳහා හුළං අවශ්‍ය නොවීමයි.ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙම ටයරය ලබන අගෝස්තු මාසයේදී පමණ වෙළඳපොළට නිකුත් කිරීමටයි. මෙම Airless ටයරය TWEEL (Tyre/WhEEL) යනුවෙන් නම්කර තිබෙනවා.

රේඩියල් ටයරය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා තිබෙන්නේ ද මිචලින් සමාගමයි. ඒ 1948 දීය.

tyre1

tyre2

tyre3

tyre6

tyre4

tyre5

Monday, November 28, 2011

දකුණු අධිවේගී මාර්ගයේ ප්‍රථම අනතුර වාර්තා වේ.

imagesCAECQUKT දකුණු අධිවේගී මාර්ගයේ ප‍්‍රථම අනතුර අද (28) උදේ 7.10 ට කහතුඩුවේ කිලෝ මීටර 8 කණුව අසළදී සිදුවුණා. මින් කොළඹ දෙසට ගමන් ගත් වෑන් රියක් පෙරළී දෙදෙනෙක් තුවාල ලැබුවා. අධිවේගී මාර්ගයේ ගිනි නිවීම් හා ජීවිතාරක්‍ෂක ඒකකය ඔවුන් හොරණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා.
පොලීසිය පවසන්නේ එම අවස්ථාවේ මෙම වෑන්රිය පැ.කි.මී. 100 වේග සීමාව ඉක්මවා ධාවනය කර ඇති බවයි.

kathuduwa1

have

Sunday, November 27, 2011

දකුණු අධිවේගී මාර්ගය අද (27) විවෘත වෙයි.

RD000(82) දක්ෂිණ අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අද පෙරවරුවේ විවෘත කෙරුණා.

පෙරවරු 10.45 ට යෙදුනු සුභ මොහොතින් ශ‍්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දකුණු අධිවේගී අධිවේගී මාර්ගයට පිවිසෙන ගාල්ල සිමෙන්ති කම්හල අසල සමරු පලකය ජනාධිපතිතුමා විසින් නිරාවරණය කරනු ලැබීමෙන් අනතුරුව පින්නදුව ප‍්‍රවිශ්ඨ මාර්ගය අසලදී ජනාධිපතිවරයා විසින් ප‍්‍රවේශ පත‍්‍රයක් මිළදී ගෙන සිය මෝටර් රථයෙන් කරන්දෙණිය බලා ගමන් ආරම්භ කළා .

මේ සඳහා චීන සහ ජපාන ණය ආධර මත වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 85කි. මෙම මාර්ගය කොළඹ කොට්‌ටාව සිට ගාල්ල පින්නදූව දක්‌වා කිලෝ මීටර් 95.2 දුර දිවෙන අතර පිවිසුම් දොරටු අටකින් සමන්විත වනවා.
එම පිවිසුම් දොරටු ඇත්තේ කොට්‌ටාව, කහතුඩුව, ගැලනිගම, දොඩන්ගොඩ, වැලිපැන්න, කුරුඳුගහහැතැප්ම, බද්දේගම හා පින්නදූව ප්‍රදේශවලයි.

මේ ව්නවිට මංතීරු 4කින් සමන්විත වන අතර ඉදිරියේ දී මෙය මංතීරු 6ක් දක්වා වැඩි කිරීමට ඉඩම් පවරාගෙන ඇතැයි පැවසෙනවා. මෙම අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 100 ක උපරිම වේගයෙන් ධාවනය කළ හැකි වන අතර අවම වේගය මාස හයකට පසු පනවන බවයි වාර්තා වෙන්නේ.
කොට්ටාවේ සිට අධිවේගී මාර්ගයට පිවිසෙන්නෙකුට කිලෝමීටර් 44ක් දුරින් ඉන්ධන පිරවුම් හලක් පිහිටුවා තිබෙනවා. ගැලනිගම ප්‍රධාන හදිසි අනතුරු ඒකකය පිහිටා ඇති අතර කුරුඳුගහ හැතැප්ම හදිසි අනතුරු ඒකක දෙකක් ස්ථාපිත කර තිබෙනවා.

අධිවේගී මඟෙහි යොදවා ඇති මාර්ග සංවර්ධන කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 500 කි. පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව ද 500කි. කාර් 9ක්, යතුරු පැදි 9ක්, ගිලන්රථ 6ක්, පොලිස් රථ වාහන 2ක්, බවුසර් 3ක්, ගිනි නිවන රථ 3ක් මේ වන විට සේවයේ යොදවා තිබෙනවා.

හදිසි අවස්ථාවකදී අධිවේගී මාර්ගයේ පොලීසියට 1969 අංකයට ඇමතීමෙන් දැනුම්දීමට පුළුවන.

අධිවේගී මඟට ප්‍රවිශ්ට වීමේ දී ටිකට්පතක් නිකුත් කරනු ලබන අතර පිටවීමේ දී මුදල් අය කෙරේ.

කොට්ටාව සිට ගාල්ලට සම්පූර්ණ දුර යන්නේ නම් වාහන සඳහා අය කරන ගාස්තු මෙසේය.
කාර්, කැබ්, වෑන්(ආසන 9 දක්වා), ලොරි (ඇක්සල් දෙක හා රෝද 4) සඳහා
ගාස්තුව රු. 400/- කි.
ආසන 9-22 වෑන් බස් රථ සඳහා
ගාස්තුව රු. 700/- කි.
ආසන 22ට වැඩි බස් රථ, රෝද 6 හෝ ඇක්සල් 3 ලොරි සඳහා
ගාස්තුව රු. 1,500/- කි.
ඈඳූ මෝටර් කෝච් බස් රථ හා ඇක්සල් 4 ලොරි සඳහා
ගාස්තුව රු. 2,000/- කි.

මාර්ගයට අනවසරයෙන් ඇතුල්වන්නන් සඳහා දඩය රු. 5,000/- කි.

ස්තුතිය : gossip9

Thursday, September 29, 2011

අරුම පුදුම රැෆ්ල් ත්‍යාග

DSC0011 මාතර ශ්‍රී ලංකා යුනයිටඩ් වූෂු සංගමයේ ක්‍රීඩා අරමුදලට ආධාර පිණිස අලෙවි කරනු ලබන ලොතරැයියක(raffle)  2 වන ත්‍යාගය වශයෙන් ලබා දෙනු ලබන්නේ අරුම පුදුම ත්‍යාගයකි. එනම් විදුලි සෝපානයකි( Electric Lift). එහි 1 වන හා 3 වන ත්‍යාග සාමාන්‍ය ත්‍යාග වේ. ඒවා නම් පිළිවෙලින් ජංගම දුරකතනයක් හා විදුලි ස්ත්‍රික්කයකි. මෙම ලොතරැයිය 2011 සැප්තැම්බර් මස 30 වන දින දිනුම් අදිනු ලබන අතර මිල රු. 50 ක් වන බව ද එහි සඳහන් වේ.

DSC0011

Saturday, September 24, 2011

UARS චන්ද්‍රිකාව සෙනසුරාදා (24) පෙරවරුවේ පොළවට කඩා වැටෙයි

twentysixpot UARS චන්ද්‍රිකාව අද (24) පෙරවරුවේ පැසිෆික් සාගරයට ඉහළින් පෘථිවි වැයුගෝලයට ඇතුල් වූ බවත් එය පැසිෆික් සාගරයට කඩා වැටුන බවත් කැලිෆෝනියා හි වැන්ඩර්බර්ග් ඒකාබද්ධ අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. එහෙත් එය වැටුන ස්ථානය තවමත් ස්ථිරව හඳුනාගෙන නොමැති බවත් අද උදෑසන එහි දිවිය දැවෙන ගිනි ගුලියක් සේ දැවැන්ත පැසිෆික්  සාගරයෙන් නිමාකළ බවත් ඔවුහු සඳහන් කළහ.

Wednesday, September 21, 2011

ටොන් 6 ක චන්ද්‍රිකාවක් සිකුරාදා පොළවට වැටෙනවා

twentysixpot නාසා මගින් 1991 දී ඉහළ වායුගෝලීය ඕසෝන් ස්ථරය, සුළං හා උෂ්නත්ව පර්යේෂණ සඳහා අභ්‍යාවකාශගත කළ චන්ද්‍රිකාවක් (Upper Atmosphere Research Satellite) අක්‍රීය වීමෙන් පසු ලබන සිකුරාදා (23) පෘථිවිය මතට කඩා වැටීමට නියමිත බව නාසා විද්‍යාඥයින් ප්‍රකාශ කරති. මෙය බස් රථයක ප්‍රමාණයේ ටොන් 6 ක් පමණ බරැති එකකි. කඩා වැටෙන මොහොතේ පෘථිවි වායුගෝලයට ඇතුළු වනවිට අඩි 35 ත් 15 ත් අතර කොටස්වලට කැඩෙන බවත් ඒවා කිලෝග්‍රෑම් 1 සිට 158 දක්වා පරාසයක බරකින් යුක්ත විය හැකි බවත් සුන්බුන් වර්ග කිලෝමීටර් 800 ක ප්‍රමාණයක විසිරෙනු ඇති බවත් විද්‍යාඥයෝ පවසති. කෙසේ වෙතත් අවසන් මිනිත්තු 20 වනතෙක් මෙම චන්ද්‍රිකාව වැටෙන ප්‍රදේශය ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ 1991 සැප්තැම්බර් 12 දින අභ්‍යාවකාශගත කළ අවස්ථාවේදී ගනු ලැබූ  UARS චන්ද්‍රකාවයි.

Friday, September 9, 2011

සරසවි අනධ්‍යයන සේවකයෝ ලබන සඳුදා ලෙඩවෙති

imagesCAC31VVM සරසවි අනධ්‍යයන සේවකයින් වැටුප් විෂමතා හා හිඟ දීමනා ලබාගැනීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගෙන මේ වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹී තිබෙනවා. එහි පළමු පියවර වශයෙන් ලබන සඳුදා (12) සියළුම විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ලෙඩ නිවාඩු දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ලබන සඳුදා සියළුම විශ්වවිද්‍යාලවල වැඩ කටයුතු ඇණහිටිනවා. මේ සඳහා විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් ද එක්වී සිටිනවා.

1997 රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමේදී විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් වැඩි නොවීම නිසා රජයේ හා විශ්වවිද්‍යාල සේවක වැටුප් අතර විෂමතාවයක් පැන නැඟී තිබෙනවා. එසේ තිබියදී  පසුගිය මැයි මාසයේදී ඇරඹි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය මාස 2 ක පමණ කාලයක් පැවති අතර එය ජයග්‍රහණය කර ඔවුන්ගේ වැටුප් ඉහළ ප්‍රතිශතයකින් වැඩි කරගනු ලැබුවා. එම ආචාර්ය වැටුප් වැඩිවීමත් සමග විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් විෂමතාවය තවත් වැඩිවුණා.

මේ අතර විශ්වවිද්‍යාල විධායක නිලධාරී සහ පරිපාලන නොවන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ මීට පෙර ආචාර්ය හා අනෙකුත් සේවක වැටුප් ඉහළ දැමීමේදී යම් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් දැන් එම ප්‍රතිපත්තිය ක්‍රියාක්මක නොවන බවත් ය.

එනම්,
1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රෙල්ඛ අංක 334 මගින් අධ්‍යයන කාර්ය මණ්ඩලයට වෘත්තීය දීමනාවක් ගෙවන විට අනෙකුත් කාර්ය මණ්ඩලයට වැටුප් වර්ධක 4 කට සමාන අගයක දීමනාවක් ගෙවීම

2. අංක 548, 550, 552 වැටුපෙන් 25% ක දීමනාවක් සියළු කාර්ය මණ්ඩලවලට ලබාදීම

3. අංක 558 මගින් අධ්‍යයන කාර්ය මණ්ඩලයට පොත් දීමනාව ගෙවන විට අංක 563, 564 න් අනෙකුත් කාර්ය මණ්ඩලවලට දීමනාවක් ලබාදීම

Monday, September 5, 2011

මාතර මහනගර සභා ඡන්දෙට බැට්මෑන් කෙනෙක්

images ලබන මස පැවැත්වෙන මාතර මහ නගර සභා මැතිවරණය සඳහා එක් අපේක්ෂකයෙක් පක්ෂ දෙකක් යටතේ තරග කරනවා. ඔහුට පක්ෂ සළකුණු දෙකක් හා මනාප අංක 2 ක් යටතේ  එනම් රුහුණු ජනතා පක්ෂයෙන් මෝටර් කාර් සළකුණ යටතේ මනාප අංක 13 න් ද ස්වාධීන කණ්ඩායම- 01න් කණ්ණාඩි කූට්ටම සළකුණ යටතේ මනාප අංක 17 න් ද තරග වදිනවා.

මෙම ක්‍රමය ප්‍රධාන පක්ෂ දෙකට එනම් එක්සත් ජාතික පක්ෂයටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් පූර්වාදර්ශයක් කරගත හැකියි. මෙම ක්‍රමයෙන් මැතිවරණ ප්‍රතිපල නිකුත් කළ වහාම ඔහුට හෝ ඇයට තම පක්ෂය මාරු කළ හැකියි. පක්ෂ මාරු කිරීමට වාසි බලමින්, කල් බලමින් සිටීමේ අවශ්‍යතාවයක් මතු වන්නේ නැහැ. පක්ෂ මාරු කරන්නන්ට කොමිස් ගෙවීමට අවශ්‍යතාවයක් මතු වන්නේ ද නැත. මේ ක්‍රමය ගැන කල්පනා කර බැලුවොත් හොඳයි නේද ?

Sunday, August 14, 2011

ග්‍රීස් යක්කු

imagesCA36TG0U මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ග්‍රීස් යකුන් යැයි හඳුන්වන නාඳුනන අපරාධකරුවන් පිරිසක් ගැවසෙනවා. මේ සිදුවීම්වලින් මහජනතාව භීතියටත් ත්‍රාසයටත් පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

 

පුත්තලම

අද (14) පුත්තලමේ හිජරත්පුරම් ගම්මානයේ සැක කටයුතු ග්‍රීස් යකුන් යැයි සැක සිතෙන පුද්ගලයින් දෙදෙනෙක් ගැවසී ඇති බවත් එයින් ගැමියන් කලබලයට පත්වී ඇති බවත් වාර්තා වෙනවා. පොලීසිය ද ගම්වැසියන් හා එක්වී ඔවුන් සෙවීමට මෙහෙයුමක් අරඹා තිබෙනවා.

බදුල්ල

බදුල්ල පිටවලගම ප්‍රදේශයේ දී ජනේලයකින් කාන්තාවකට එබිකම් කළ සැක කටයුතු ග්‍රීස් යකෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලීසියට බාර දී තිබෙනවා.

නිවසක් මංකොල්ලකෑමට සැරසුනු වයස අවුරුදු 16 ක තවත් ග්‍රීස් යකෙක් බදුල්ලේ තල්දෙන ප්‍රදේශයෙන් අල්ලාගෙන තිබෙනවා. ග්‍රීස් යකෙක් ලෙස වෙස්වලාගෙන ගනු ලැබූ ඔහුගේම ඡායාරූප 2 ක් ඔහුට අයත් ජංගම දුරකතනයෙන් සොයාගෙන තිබෙනවා. එම ඡායාරූප මාධ්‍යවල ද වාර්තා වුණා.

grease yaka1

grease yaka2
බදුල්ලේ අවුරුදු 16ක ග්‍රීස් යකා

හපුතලේ

ග්‍රීස් යකුන් යැයි සැක කළ පුද්ගලයින් දෙදෙනෙක් පසුගිය 11 වනදා ගම්වාසීන් විසින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙම පුද්ගලයින් දෙදෙනා මොනරාගල පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර සිද්ධිය වන අවස්ථාවේදී කළු පැහැති ඇඳුම් හැඳ සිටි බවත් පුදේශවාසී කාන්තාවක් සමඟ කතා කරමින් සිටි බවත් වාර්තා වෙනවා.

මහියංගනය

මහියංගනය ගුරුමඩ ප්‍රදේශයෙන් තවත් ග්‍රීස් යකෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු එම ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුටම පසුගිය දින කිහිපයේදී පහර දී තිබෙනවා. මෙම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය ජූලි මාසයේදීය.

මේ අතර පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් ප්‍රකාශ කරන්නේ මහජනතාවට මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත නොයුතු බවත් පොලීසිය මේ සම්බන්ධයෙන් රටපුරා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේවනවිට ක්‍රියා කර ඇති බවත්ය.

ජනමාධ්‍ය මේ ගැන වගකීමෙන් වාර්තා කරන ලෙසත් ඉදිරියේදී පුවත්පත්වල “ග්‍රීස් යකා” යන වචනය පාවිච්චි කිරීමෙන් වළකින ලෙසත් පුවත් පත් ආයතන ප්‍රධානීන්ගෙන් ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටියා.

මේ සම්බන්ධයෙන් සිද්ධීන් 21 ක් වාර්තා වී ඇති අතර සැකකාර ග්‍රීස් යකුන් 47 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.

Wednesday, August 3, 2011

මිල්ලන්ගොඩ රාජා ඇත් රජු දැයෙන් සමුගනී

Loku-Raja1 ආසියාවේ දිගම දළ ඇතා වන මිල්ලන්ගොඩ රාජා ඇතා අද (03) දහවල් 12.00 ට පමණ මියගොස් ඇත. වයෝවෘද්ධව අසනීපයෙන් පසුවූ
ඇතා මියයන විට වයස අවුරුදු 70 පමණ විය.

දළදා මාලිගාවේ රාජා ඇත් රජුගේ මරණයෙන් පසු වැඩිම කලක් දළදා වහන්සේ වැඩම කරනු ලැබුවේ මිල්ලන්ගොඩ රාජා ඇතුගේ පිට මතිනි.
පසුගිය දා මිල්ලන්ගොඩ රාජා ඇතාට සෙත් පතා පිරිත් සඡ්ඣායනයක් ද පැවැත්වීය.

‌කෑගල්ලේ මොලගොඩ ජීවත් වූ මෙම ඇතාගේ අයිතිකරු වන්නේ අප්පුහාමි මිල්ලන්ගොඩ ය. ඔහු පවසන්නේ මෙම ඇතා තමන්ට ලැබුණේ 1945 දී බවයි. ලොකු රාජා නමින් ද හැඳින්වෙන මෙම ඇත් රජුගේ දළ බිම ගෑවෙන අතර අඩි 7 ත් 7 1/2 පමණ දිගය.

බෞද්ධ ජනතාවගේ ගෞරවයට ද දෙස් විදෙස් සංචාරකයින් අතර ඉමහත් ජනාදරයට ද පාත්‍ර වූ මිල්ලන්ගොඩ හස්තිරාජයාට නිවන් සුව පතමු.

Loku-Raja2

Loku-Raja3  Loku-Raja4

Wednesday, July 13, 2011

කැලිඩෝව නිරුවත් වෙයි

imagesCAUTYW4P කලුතර පිහිටි කැලිඩෝ මුහුදු වෙරළ (Calido Beach) දෙස් විදෙස් සංචාරකයින් විනෝද වන ජනප්‍රිය වෙරළ තීරයක්. කලු ගඟ කලුතර බෝධිය ළඟින් වමට හැරී කිලෝමීටර් 2.5 ක් පමණ ගමන් කර මුහුදට වැටෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි, මුහුදත් කලු ගඟත් අතරින් මෙම කැලිඩෝ වෙරළ තීරය නිර්මාණය වෙන්නේ. දේශිය සංචාරකයින්, විශේෂයෙන් කලුතර බෝධිය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් වැඩි දෙනෙක් නැරඹීමට පැමිණෙන මෙම වෙරළ තීරය කලුතර නගර සභාව මගින් පාලනය කරනු ලබනවා.

කලුතර බෝධිය වගේම ජනප්‍රිය පාසල් 3 ක් ද මේ අසළ පිහිටා තිබෙනවා. ඒවා නම් කලුතර විද්‍යාලය, සිරිකුරුස විද්‍යාලය හා වේලාපුර මහා විද්‍යාලයයි.

Kalutara-e1310259985217 මීට වසරකට පමණ පෙර වර්තමාන රජය විසින් කැලිඩෝ වෙරළ සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළා.  මෙය තවත් පියවරක් ඉදිරියට යමින් බෞද්ධ ජනතාවගේ වන්දනීය ප්‍රදේශයක පිහිටි කැලිඩෝ වෙරළ තීරය නිරුවත් සංචාරක වෙරළ තීරයක් කිරීමට ස්ටාර්ඩස්ට් කැසිනෝ (Stardust Casino) ආයතනය පිඹුරුපත් සකසමින් සිටිනවා. මේ සම්බන්ධව ඔවුන් බලධාරීන් සමඟ සාකච්චා වට ගණනාවක්ම පවත්වා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී කැලිඩෝ හි ඔබට නිරුවතින් ගතකිරීමටත් නිරුවත් ළඳුන් හා පිරිමින් දැකබලා ගැනීමටත් හැකි වේවි. කෙසේ වෙතත් කලුතර මහ නගර සභා පරිපාලනය  මේ සම්බන්ධයෙන් දැනටමත් ඔවුන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.

අපි බලාගෙන සිටිමු. මෙයින් දැකගත හැකි වන්නේ සංචාරකයින්ගේ නිරුවත ද බලධාරීන්ගේ නිරුවත ද ?

calido
කලුතර බෝධිය කැලිඩෝවට පෙනෙන අයුරු

Monday, June 27, 2011

ඇස්ටරොයිඩයක් අද (27) පෘථිවිය ආසන්නයෙන් යයි

asteroid අද (27) ග්‍රිනිච් වේලාවෙන් පස්වරු 5.20 ට කුඩා ප්‍රමාණයේ ඇස්ටරොයිඩයක්  පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනවා.  2011 MD ලෙස එය නම්කර තිබෙනවා. මෙය පෘථිවියට කිලෝමීටර් 12300 ක් (සැතපුම් 7600) ක් ආසන්නව ගමන් කරන බවයි, නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ.  මෙය පෘථිවි වායුගෝලයට ඇතුල්වී ගිනියම් වන බවත් එහෙත් එය පෘථිවියට බලපෑමක් සිදු නොවනු ඇති බවත් ඔවුන් සඳහන් කරනවා. මෙය ඉතා කුඩා ප්‍රමාණයේ ඇස්ටරොයිඩයක් (ග්‍රහකයක්) වන අතර විශ්කම්භය මීටර් 5 – 20 අතර වනවා. සාමාන්‍යයෙන් සෑම වසර 6 කට වරක් මෙවැනි කුඩා ප්‍රමාණයේ ග්‍රහක පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය තව දුරටත් කියා සිටිනවා.

පෘථිවි දකුණු අර්ධගෝලයේ ඇන්ටාක්ටිකාවට ආසන්නව ගමන් කරන මෙය පියවි ඇසින් දැකගත නොහැකි බවත් දුරේක්ෂයක් ආධාරයෙන් එම ප්‍රදේශයට දර්ශනය කරගත හැකි බවත් නාසා ආයතනය පවසනවා.

2005 YU55 නමින් විශ්කම්භය මීටර් 400 ක් පමණ වන තවත් කුඩා ඇස්ටරොයිඩයක් 2011 නොවැම්බර් 08 වැනිදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කරනු ඇති.

2011 MD ඇස්ටරොයිඩයේ කක්ෂය පහත දැක්වේ.
2011md_ca3_s 

 

 

 

 

 

 

 

 

 

2011md_ca4_s

Wednesday, June 22, 2011

බැන් කී සඳ යළි පායයි

ban ki බැන් කී මූන් දෙවන වරටත් එක්සත් ජාතීන්ගේ මහලේකම් වශයෙන් තේරී පත් වුණා. අවුරුදු 67 ක් වයසැති බැන් කී හිටපු දකුණු කොරියානු විදේශ ඇමතිවරයෙකි. ඔහුගේ දෙවන ධූර කාලය 2012 ජනවාරි 01 දා සිට 2016 දෙසැම්බර් 31 දක්වා වනු ඇත.

මෙය පෘථිවියේ අමාරුම හා කාර්ය බහුලම රැකියාව බවත් එහෙත් තම මව්රටට ඉමහත් ආඩම්බරයක් බවත් දකුණු කොරියානු විදේශ ඇමති කිම් සුන් වාන්, මූන්ගේ පත්වීමෙන් අනතුරුව මහා මණ්ඩලයේදී ප්‍රකාශ කළා.

මූන්ගේ ඉදිරි වසර පහ තුළ ලෝකයේ ඇතිවන යුද්ධවලට වඩා දේශගුණික විපර්යාස නිසා ඇතිවන මිහිතලය උණුසුම්වීම වැනි පාරිසරික ගැටලු ඔහුට මහත් අභියෝගයක් වනු ඇති.

ban oath 
බැන් කී දෙවන ධූර කාලය සඳහා දිවුරුම් දෙන අවස්ථාව

මුතුරාජවෙල කිඹුල් උද්‍යානය

imagesCADI39Y1 මුතුරාජවෙල අභයභූමියේ කිඹුල් උද්‍යානයක් ඉදිකිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සැරසෙනවා. මුතුරාජවෙල අභයභූමිය, මීගමුවට දකුණු දෙසින් පිහිටි මීගමුව කලපුව ද ඇතුළත් හෙක්ටයාර් 6,000 ක පමණ භූමි ප්‍රදේශයක්.

මෙම කිඹුල් උද්‍යානය ළඟදීම විවෘත කරන බවත් මෙහි පරමාර්ථය වන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමත් කිඹුලන් සංරක්ෂණය කිරීම බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද්‍රවංශ පතිරාජ සඳහන් කරනවා.

ගිං හා නිල්වලා ගංගාවල සිටින කිඹුලන් මෙම උද්‍යානයට මුදාහැරීමට කටයුතු කරන බවත් එමඟින් එම ප්‍රදේශවල ජනතාවට කිඹුලන්ගෙන් ඇති වී තිබෙන තර්ජනයට විසඳුමක් ලැබෙන බවත් ඔහු කියා සිටිනවා.

මෙම උද්‍යානය ඉදිකිරීමෙන් අනතුරුව දඬුගං ඔයේ බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට ද නියමිතයි. එමඟින් සංචාරකයන්ට කිඹුලන් නැරඹීමට අවකාශ ලැබෙනවා. ඊට අමතරව උද්‍යානයේ නැරඹුම් කුලුණු ඉදිකිරීමට ද අපේක්ෂිතයි.

මෙවැනි කිඹුල් උද්‍යාන ලෝකයේ බොහෝ රටවල ඉදිකර තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි හි විශාල කිඹුල් උද්‍යානයක් තිබෙනවා.

දේශපාලනයේ කිඹුල් කඳුලු හෙලන අපේ රටේ ඇත්තන්ට මෙය බොහෝ වටිනාකමක් ගෙනදේවි.

මේ ඉන්දියාවේ චෙන්නායි හි ඇති කිඹුල් උද්‍යානයේ දර්ශන කීපයක්.
imagesCA6K6TV1 
imagesCAICHA92
imagesCAYUZT9Q

Friday, June 17, 2011

පී. බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීම බොරුවක් ලු

PB Jayasundara මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම්  තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි ඊයේ වාර්තා වූ ප්‍රවෘත්තිය සාවධ්‍ය හා කටකථාවක් බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් ආචාර්ය පී.බී. ජයසුන්දර ප්‍රකාශ කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිම තනතුරක් සඳහා බලාපොරොත්තුවක් නොමැති බවත් යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවේ සිදුවන වේගවත් සමාජ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵල අත්කර ගැනීම තමාගේ අභිලාෂය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීමේ පුවත ඊයේ (17) සමහර පුවත් වෙබ් අඩවිවල වාර්තා වුණා.

Monday, June 13, 2011

සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය පොසොන් පොහෝ දිනයේ දී

imagesCASDX2Y9 මේ සියවසේ දීර්ඝතම හා අඳුරුතම චන්ද්‍රග්‍රහණය මේ පොසොන් පොහෝ දිනයේදී (15) ලක්වැසි ජනතාවට දැකගැනීමට හැකිවෙයි. මේ බව සඳහන් කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, තාරකා විද්‍යාව හා අභ්‍යාවකාශ යෙදුම් සම්බන්ධ උපදේශක හා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න ය.

ආචාර්ය ජයරත්න තවදුරටත් සඳහන් කරන්නේ මෙම 15 දින ප.ව.10.55 ට චන්ද්‍රයා පෘථිවි උපඡායාවට ඇතුළුවන බවත් එය අවසන් වන්නේ 16 දින පෙ.ව. 4.31 ට බවත් ය. නමුත් මෙම දර්ශනය අපට පැහැදිලිව දැකගත හැකි වන්නේ 15 දින ප.ව. 11.53 සිට 16 දින පෙ.ව. 3.32 දක්වා කාලය තුළදීය. ඒ චන්ද්‍රයා පෘථිවි පූර්ණ ඡායාවේ ගතකරන කාලයයි. එනම් පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවන කාලයයි.

මෙය යුරෝපයට හා දකුණු  ඇමෙරිකානු රටවලට හිරු බැසයාමෙන් පසුව හා ආසියානු හා අප්‍රිකානු රටවලට හිරු උදාවීමට පෙර දර්ශණය වනු ඇත.

මීලඟ චන්ද්‍රග්‍රහණය එනම් මේ වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ ලබන දෙසැම්බර් 10 වන දිනයි. එය ද ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට පුළුවන. මෙම චන්ද්‍රග්‍රහණය සිදුවන කාලය මිනිත්තු 25 ක් පමණ වේ.

ශ්‍රී ලංකාවාසීන්ට මීලඟට දැකගත හැකි දීර්ඝතම චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ 2018 ජනවාරි 31 දිනයි.

Lunar600(1)

සරසවි ඇදුරු හඬ මාතර දී මුළු දෙයි

imagesCAS01J5O විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ගැටළු විසඳා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කිරීමට බල කෙරෙන මහජන සම්මන්ත්‍රණය 2011 ජුනි 13 දින සවස 4.00 ට මාතර දුම්රියපොළ ඉදිරිපිට සමුපකාර මන්දිරයේදී පැවැත්වේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි, මහාචාර්ය නවරත්න බණ්ඩාර, මහාචාර්ය සුමනසිරි ලියනගේ, රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එල්. පී. ජයතිස්ස, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, එහි උපසභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය දඹර අමිල හිමි, සහකාර ලේකම් කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රභාත් ජයසිංහ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහිම් මෙන්ඩිස්, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සෙනගරපිල්ලේ අරිවල්සහන් හා අධිනීතිඥ චන්ද්‍රකුමාර විජයගුණවර්ධන යන වියතුන් මෙම මහජන සම්මන්ත්‍රණයේදී ජනතාව ඇමතීමට නියමිතය. රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුමනසිරි වාව්වගේ මූලාසනය හොබවනු ඇත.

මෙම සම්මන්ත්‍රණය රුහුණ විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් එකමුතුව මගින් සංවිධානය කරනු ලබන අතර http://uteachers.blogspot.com අඩවියට පිවිසීමෙන් සජීව අන්තර්ජාල විකාශය නැරඹිය හැකිය.

Tuesday, June 7, 2011

කොළඹ සිට නුවරට ගුවනින් යන්න

SriLankan-Air-Taxi-Logo-120x80 දැන් කොළඹ සිට මහනුවර දක්වා කුළී ගුවන් ගමන් සේවයක් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අනුබද්ධ ශ්‍රී ලංකන් එයාර් ටැක්සි (Sri Lankan Air Taxi) විසින් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අලෙවි ප්‍රධානී මොහොමඩ් ෆසාල් සඳහන් කරන්නේ මෙම එයාර්ටැක්සි (Air Taxi) සේවය මගීන්ට ඉක්මන්, ආරක්ෂාකාරී හා සුවපහසු සේවයක් සපයන බවයි.

කොළඹ සිට මහනුවර-පොල්ගොල්ල දක්වා ගමනට ගතවන්නේ විනාඩි 30 ක් වැනි කෙටි කාලයකි. එක් ගමනකට ගාස්තුව රු. 4,900 කි. යාමට හා ඊමට ගාස්තුව රු. 9,800 කි.

පෙ.ව. 9.00 ට කොළඹින් පිටත්වන ගුවන්යානය පෙ.ව. 9.30 ට පොල්ගොල්ලට ළඟා වන අතර පොල්ගොල්ලෙන් නැවත පෙ.ව. 10.00 ට පිටත්වන අතර එය කොළඹට පැමිණෙන්නේ පෙ.ව. 10.30 ටය.

මෙම ගුවන් සේවය සඳහා දැනට ඩි හැවිලන්ඩ් ට්වින් ඔටර් නමැති ද්විත්ව එන්ජින් සහිත ගුවන් යානා දෙකක් භාවිතා කරනවා. එක් ගුවන් යානයක එකවර මගීන් 15 කට ගමන් කළ හැකියි.

බෙන්තොට, හම්බන්තොට, අම්පාර, කොග්ගල, නුවරඑළිය, කාසල්රී හා තංගල්ල දක්වා ද මෙම සේවය දීර්ඝ කිරීමට Sri Lankan Air Taxi ඉදිරි කාලයේදී බලාපොරොත්තු වනවා.

මේවාත් සසඳා බලන්න.

සේවය                                  ගාස්තු                  ගතවන කාලය
සාමාන්‍ය බස් සේවය              රු.   80.00            පැය 3 1/2 – පැය 4
සුඛෝපභෝගී බස් සේවය       රු. 140.00            පැය 3 – පැය 3 1/2
දුම්රිය සේවය – සාමාන්‍ය       රු. 190.00            පැය 3 1/2 – පැය 4
දුම්රිය සේවය – නගරාන්තර   රු. 360.00            පැය 3 – පැය 3 1/2
කුළී රථ සේවය                     රු. 3500-4500      පැය 2 1/2 – පැය 3
Air Taxi                               රු. 4900               විනාඩි 30

සසඳා බලා ඔබගේ ගමන් පහසුව ඔබම තීරණය කරන්න

Sri-Lankan-Air-Taxi
  ශ්‍රී ලංකන් එයාර් ටැක්සියක්