Monday, May 30, 2011

කටුනායක වෙළඳ කලාපයට විශ්‍රාම වැටුප් නෑ

pension2 කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් හට යෝජිත පෞද්ගලික විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා මේ බව තමා වෙත දුරකතනයෙන් දැනුම් දුන් බව ඔහු කියා සිටිනවා.

අද දෙවැනි දිනටත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇගළුම් සේවකයින් මෙම යෝජිත විශ්‍රාම වැටුපට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුවා. උද්ඝෝෂකයින් පළවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් පාවිච්චි කළා. මෙහිදී සිදුවූ ගැටුම්වලදී පොලිස් නිලධාරීන් 9 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ පොලිස් ස්ථානාධිපතිවරයෙක් තුවාල ලැබූ නිලධාරීන් අතර වෙනවා. මේ අතර වෙළඳ කලාප සේවකයින් 15 දෙනෙක් ද තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා මීගමුව සහ රාගම රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වෙතත් රජය මීට පෙර ප්‍රකාශ කළේ කුමන විරෝධතා පැවතියත් මෙම පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.

රූපවාහිනී නව සභාපති මොහාන්

mohan ජාතික රූපවාහිනියේ නව සභාපති වශයෙන් කෘතහස්ත මා‍ධ්‍යවේදියෙකු වන මොහාන් සමරනායක , ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමති කෙහෙලිය රඹුක්වැල්ල විසින් අද (30) සිට පත්කර තිබෙනවා.

මොහාන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධිධරයෙක් වන අතර ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ද කටයුතු කරනු ලබනවා. ඔහු ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් ද කටයුතු කර තිබෙනවා. මීට අමතරව ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යන තනතුරු ද හොබවා ඇති මොහාන් රූපවාහිනී වාණිජ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබෙනවා.

තව ද එක්සත් ජාතීන්ගේ තොරතුරු මධ්‍යස්ථානයේ ජාතික තොරතුරු නිලධාරියා වශයෙන් ද කොළඹ හා වයඹ විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙක් වශයෙන් ද සේවය කර තිබෙනවා.

මෙතෙක් රූපවාහිනී සභාපතිධූරය දැරූ සරත් කෝංගහගේ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්කිරීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

TATA NANO දැන් ශ්‍රී ලංකාවේ

ඉන්දියාවේ ටාටා මෝටර්ස් සමාගම ටාටා නැනෝ නමින් කුඩා මෝටර් රථයක් ඊයේ (29) ශ්‍රී ලංකා මෝටර් රථ වෙළඳපොලට හඳුන්වා දෙනු ලැබුවා. මේ අනුව ටාටා නැනෝ සඳහා ඔවුන්ගේ ප්‍රථම විදේශ වෙළඳපොල වන්නේ ශ්‍රී ලංකාවයි. මේ බව සනිටුහන් කරමින් ටාටා 50 වසරක ශ්‍රී ලංකා නියෝජිත වන DIMO සමාගම හරහා ඊයේ සිය ප්‍රථම අලෙවිය සිදුකරනු ලැබුවා. මෙහි විශේෂත්වය වන්නේ දැනට ලොව මිල අඩුම මෝටර් රථය මෙය වීමයි. එය ඇමෙරිකානු ඩොලර් 2,500 කි. ශ්‍රී ලංකාවේදී මෙහි මිල රු. 925,000 කි.

TATA Nano විශේෂාංග

දිග    : මීටර් 3.1
උස   : මීටර් 1.6
පළල : මීටර් 1.5

සිලින්ඩර් 2
අශ්වබල 623
ඉන්ධන කාර්යක්ෂමතාව : පෙට්‍රල් ලීටරයට කි.මී. 20

 nano1 nano2

 

 

 

 

 

nano3

Saturday, May 28, 2011

ආචාර්යවරුන් සටනේ, සිසුන් උසාවියේ

imagesCATAG0HK විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයනාංශ ප්‍රධාන තනතුරුවලින් ඉවත් වීම වාරණය කරන රිට් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙක් මේ වනවිට අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස  වයඹ, රුහුණ හා ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, සනාතන සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, පීඨාධිපතිවරුන් හා උසස් අධ්‍යාපන ඇමතිවරයා නම්කර තිබෙනවා. මෙහි පෙත්සම්කරුවන් වන්නේ වයඹ විශ්වවිද්‍යාලයේ අසංක බුලේගොඩ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසික රත්නායක හා රුහුණ විශ්වවිද්‍යාලයේ ඒ. එච්. අමරසිංහ යන සිසුන් තිදෙනාය.

මේ වනවිට වයඹ විශ්වවිද්‍යාලයේ 16 දෙනෙක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 26 දෙනෙක් හා රුහුණ විශ්වවිද්‍යාලයේ 41දෙනෙක් ද අධ්‍යයනාංශ ප්‍රධාන තනතුරුවලින් ඉවත්ව සිටිනවා.

මේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයන ගැටළුවලට බාධා ඇති වී ඇති බවත්, මෙම ඉල්ලා අස්වීම නීතිවිරෝධී බවත්, ඒ සඳහා නීත්‍යානූකූල බලයක් නොමැති බවත් ඔවුන් පෙත්සම මගින් කියා සිටිනවා.

Friday, May 27, 2011

නිවීගිය හෙළ එළිය

untitled ගුරුවරයෙකු, ගත්කතුවරයෙකු, කවියෙකු, ගීත රචකයෙකු මෙන්ම සාහිත්‍යධරයෙකු වූ හෙළ මහා ප්‍රාඥ අරිසෙන් අහුබුදු ශූරීන් ඊයේ (26) අභාවප්‍රාප්ත වුණා. 1920 දී උපන් ඔහු මිය යනවිට 91 වැනි වියේ පසුවුණා.

කතළුව රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලද අහුබුදු ඉන්පසුව නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වුණා. නුවරඑළිය ට්‍රිනිටි විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ඇරඹි ඔහු ගාල්ල මහින්ද විද්‍යාලය, මරදාන මහාබෝධි විද්‍යාලය යන පාසල්වල සේවය කරනු ලැබුවා. වසර 42 ක් ගුරු වෘත්තියේ නියැලුනු අහුබුදුවන් 1979 විශ්‍රාම ලැබූවේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙනි.

කුමාරතුංග මුණිදාස හා වෙල්ලාල ජයමහ යන වියතුන්ගේ පුරෝගාමිත්වයෙන් බිහිවූ, සිංහල බස් වහරේ ආකෘතිය වෙනස් ආකාරයක් ගත් හෙළ හවුළ සංවිධානය සමග එක්වීමට අහුබුදුවන්ට හැකි වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ආරියසේන ආසුබෝධ, අරිසෙන් අහුබුදු වුණා.

අහුබුදුවනි, ඔබට නිවන් සුව !

Thursday, May 26, 2011

සරසවි වැටුප් ප්‍රශ්ණය තවත් ඇදෙන ලකුණු

on-strike-picket-signs ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය අතර ඊයේ (25) සවස පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව එහි ප්‍රකාශකයෙකු පැවසුවා.

සරසවි ආචාර්යවරුන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වෘත්තීය සටනකට එළඹියේ ඔවුන් දරණ ස්වේච්ඡා තනතුරුවලින් ඉවත්වෙමිනි. මැයි මස 12 වෙනිදා ඇරඹි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද වනවිට තෙවන සතියට එළඹ තිබේ.

රජය පවසා සිටින්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 100% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින බවයි. එනම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ මූලික වැටුප රු 168,000 සිට කනිෂ්ඨ ආචාර්යවරයෙකුගේ මූලික වැටුප රු. 50,000 දක්වා පරාසයක වැටුප් වැඩිවීමක් බවයි.

මෙම ගැටළු විසඳාගැනීම සඳහා ජනාධිපතිවරයා සමග තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බව ආචාර්ය සංගමය ප්‍රකාශ කරනවා.

උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පවසන්නේ ආචාර්යවරුන්ගේ මෙම ඉල්ලීම අසාධාරණ ඉල්ලීමක් බවයි. එසේ වුවත් ඔහු ගිය වසරේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මහාචාර්යවරයෙකුගේ වැටුප රු. 200,000 කින් ද කනිෂ්ඨ ආචාර්යවරයෙකුගේ වැටුප රු. 50,000 කින් ද වැඩි කළ යුතු බවයි. මේ අතර රජයේ ඇතැම් බලධාරීන් විශ්වවිද්‍යාල මුදවා නොගත් ප්‍රදේශ ලෙස ද පසුගිය කාලයේදී අර්ථ දක්වා තිබුණා.

Monday, May 23, 2011

දිසා විනිසුරුට පහරදීමට එරෙහිව නීතිඥයින් අද මාතර උද්ඝෝෂණයක

ඊයේ මාතර දිසා විනිසුරුට හමුදා භට පිරිසක් පහරදීමට විරෝධය පළකර අද මාතර දිස්ත්‍රික්කයේ සියලුම නීතිඥයන් අධිකරණ කටයුතුවලින් බැහැරව මාතර නගරයේ විරෝධතාවයක් පැවැත්වුවා.

මාතර දිසා අධිකරණ භූමියේ සිට විරෝධතා පා ගමනින් පැමිණි නීතිඥයන් මාතර බස්නැවතුම්පළ අසළදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. මේ හේතුවෙන් අද දින මාතර සියලුම අධිකරණ කටයුතු ඇනහිට තිබෙනවා.

පහරදීම සිදුකළ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් බලකර සිටිනවා.

1

2

3

4

ඡායාරූප අනුග්‍රහය : lankatruth